උඩරට මහ කැරැල්ලට පෙර තීරණාත්මක දළදා පෙරහර
ශ්‍රී වික්‍රම රාජසිංහ රජු (ක්‍රි.ව. 1798 – 1815) සිහසුනෙන් නෙරපා දැමීමට දායක වූ උඩරට ප්‍රධානින්ට, සාමාන්‍ය ජනතාවට හා භික්ෂූන් වහන්සේට නොබෝ කලකින්ම ගිය නුවණ ඇතුන් ලවාවත් අද්දවා ගත නොහැකිය යන වග මැනවින් අවබෝධ විය. උඩරට ගිවිසුමෙන් අපේක්ෂා කළ පරිදි බ්‍රිතාන්‍යයන්ගෙන් ඔවුන්ට ගරු බුහුමන්, පුද සත්කාර, තුටු පඩුරු, හා තාන්න මාන්න යනාදිය නිසි පරිදි නොලැබුණ කල්හි (ම
ෙහිදී විශේෂයෙන් අපේක්ෂා භංගත්වයට පත්වූයේ උඩරට ප්‍රධානින්ය) ඇල්ලු අත්තත් නැත පය ගැසූ අත්තත් නැත යන වග ඔවුනට මේ වන විට නිරතුරුවම මතක්වන තැනට කරුණු කාරණා යෙදෙමින් තිබුණි.
ශත වර්ෂ ගණනාවක් මුළුල්ලේ සිට ස්වෛරිත්වය භුක්ති විඳි සිංහල ජාතියට එය අහිමිව ගොස් විදේශීය රටකට යටත් පහත්ව දිවිගෙවීමට සිදුවීම ඉවසුම් නොදෙන්නක් සේම සුළු පටු කරුණක් ද නොවීය. පාලකයා හා පාලිතයා අතර වූ පරතරය සිය දහස් ගුණයකින් වැඩි වූ අතර, සිරිත් විරිත් ගති පැවතුම්, සිතුම් පැතුම් සේම භාෂාව, ආගම හා සභ්‍යත්වය අතින් ගත් කල්හිද උඩරැටියන් හා බ්‍රිතාන්‍ය පාලකයන් අතර වූ විසමතාව ක්‍රමිකව වැඩිදියුණු විය.කෙටියෙන් කිවහොත් උඩරැටියන් හා බ්‍රිතාන්‍ය පාලකයන් අතර පරතරය අහසයට පොළොව මෙන් විය.
වෛද්‍ය හෙන්රි මාර්ෂල් (Henry Marshall 1809 – 1821) මෙසේ සඳහන් කරයි.
බ්‍රිතාන්‍ය රජය විසින් උඩරට පළාත් පාලනය කරන ලද්දේ මහනුවර පිහිටුවන ලද මණ්ඩලයක් මගිනි. මෙම මණ්ඩලය නියෝජිතවරයකු, අධිකරණ කොමසාරිස්වරයකු, ආදායම් කොමසාරිස්වරයකු හා උඩරට යුද සේනාවේ සෙන්පති තැන යන සිව්දෙනාගෙන් සමන්විත විය. මෙම මණ්ඩලයෙන්ද අදිකාරම්වරුන් හා ප්‍රධාන නිලමේවරුන් යන මොවුන්ගෙන්ද මහාධිකරණය සැදුම් ලද්දේය. මෙහි තීරණයට විරුද්ධව අභියාචන (ඇපල්) ඉදිරිපත් කළ හැකිවූයේ ආණ්ඩුකාරතුමන් වෙත පමණි. මෙම මණ්ඩලයද ඌව සපරගමුව හා තුන් කෝරළේ භාරව සිටි රජයේ ඒජන්තවරුන්ද අත්හැරුණු විට රටේ සිවිල් පාලනය පෙර පරිදි ස්වදේශික දිසාපතිවරුන් හා රටේ මහත්වරුන් අතේ පැවැත්තේය. (සිංහලේ 148 වෙනි පිට)
වෛද්‍ය හෙන්රි මාර්ෂල් වැඩිදුරටත් මෙසේ සඳහන් කරයි.
ඉංශ්‍රීසින් මුහුදුබඩ පළාත්වලට පෙරළා යන්නේ කවදාදැයි කියා ඇසීමට උඩරැටියෝ පුරුදුව සිටියෝය. ඔබ රජු සිංහාසනයෙන් පහ කළාහුය. තවත් කළ යුතුදෙයක් නැත. දැන් අප අතහැර යෑම සුදුසුය. එක් උඩරැටියෙක් කීය. මහජනයා පුද්ගලයන් වශයෙන් අප අපි‍්‍රය නොකළ නමුදු ජාතියක් වශයෙන් අප පිළිකුල් කළෝය. ඉංගශ්‍රීසින්ට උඩරට රාජ්‍යයේ ජීවත් විය නොහැකිය යන මිත්‍යා විශ්වාසයත් ඔවුන් තුළ පැවති බවද පෙනිණි. හිංසා, පීඩා හා අයථා පාලනය ගැන අපට චෝදනා නොකළ ඔවුහු අප රට හැරයා යුතුය යන හැඟීම පමණක් පැවසීමෙන් සෑහීමට පත්වූහ.
(සිංහලේ 149 වෙනි පිට)
වර්ෂ 1815 මාර්තු දෙවැනිදා ඓතිහාසික මගුල් මඩුවේදී ප්‍රකාශයට පත් කරන ලද උඩරට ගිවිසුමෙන් ඉක්බිතිව දළදා වහන්සේගේ භාරකාරත්වය බ්‍රිතාන්‍යයන්ට හිමිවිය. මෙමගින් පුරා අවුරුදු 2358 ක් අවිඡින්නව පැවැති ලක්දිව රාජවංශය නිමාවට පත්ව දළදා වහන්සේගේ අයිතිය හා උරුමය සමස්ත ලෝකවාසි බෞද්ධ ජනතාවගේ දුර්භාග්‍යයක ඇරැඹුමක් වශයෙන් අන්‍යාගමික බටහිර ජාතියකට පැවරුණි.
උඩරට ගිවිසුමට පෙරාතුව හෝ ඊට ආසන්න කාලයේ දළදා වහන්සේ සෙංකඩගල නුවර තවදුරටත් තබා ගැනීම නුවණට හුරු නොවන බව සිතු මල්වතු අස්ගිරි මහනාහිමිවරුන් එකල්හි දියවඩන නිලමේ ධූරය දරන ලද කපුවත්තේ නිලමේතුමා (ක්‍රි.ව. 1814- 1824 ) ගේ නිල කාලයේදී දළදා වහන්සේ කොත්මලේ පුසුල්පිටිය රජමහ විහාරයට වැඩම කරවූ බව දළදා වංශයේ සඳහන්ය. (29 වෙනි පිට)
උඩරට ගිවිසුමෙන් උඩරට රාජධානිය බ්‍රිතාන්‍යයන්ට හිමිවුවද රාජ්‍යත්වයේ සැබෑ සංකේතය වන දළදා වහන්සේ ඔවුනට හිමිනොවුයෙන් එය අත්පත් කරගැනීමට ඔවුන් ඉමහත් පරිශ්‍රමයක් දැරූ බව පෙනේ. වර්ෂ 1815 මාර්තු 27 වැනිදා උඩරට ප්‍රධානින් සමග සාකච්ඡා කළ උඩරට රෙසිඩන්ට් ධුරය දරන ලද ශ්‍රීමත් ජෝන් ඩොයිලි (Sir John Doily 1802 –1824) දළදා වහන්සේ මහනුවරට වැඩමකරවා ගැනීමේ අවශ්‍යතාව තරයේ ප්‍රකාශ කර සිටියේය. ඔහු දළදා මාලිගාවට අයත් භාණ්ඩවල සවිස්තරාත්මක වාර්තාවක්ද පිළියෙළ කළ අතර, දළදා වහන්සේ සඳහා ගෞරවය හා ආරක්ෂාව ලබාදීමටත්, දළදා වත් පිළිවෙත් හා පුද සත්කාර නිසි ලෙස පැවැත්වීමටත්, සුදුසු වාතාවරණයක් සකසාදීමටත් ප්‍රතිඥා දුන්නේය. ඉක්බිතිව වර්ෂ 1815 අපේ‍්‍රල් 7 වැනිදා දළදා වහන්සේ මහනුවරට වැඩම කරවීමට සියලු කටයුතු සංවිධානය කෙරිණි. මෙයට දින දෙකකට පෙර, එනම් අපේ‍්‍රල් 5 වැනිදා කපුවත්තේ දියවඩන නිලමේතුමා දළදා වහන්සේ සඟවා ඇතැයි කියා විශ්වාස කළ පිටිගොඩ ගම්මානය බලා ගියේය.
එහිදී දළදා වහන්සේ මැදිවක ගම්මානයට රැගෙන ගොස් ඇතැයි කියා දියවඩන නිලමේතුමාට දැනගන්නට ලැබුණි. මේ වග දියවඩන නිලමේතුමා විසින් ජෝන් ඩොයිලි වෙත දන්වන ලදී. මහානාහිමිවරුන් දෙනම දළදා වහන්සේ වැඩම කරවීමේ උත්සවයට සහභාගි වනු පිණිස කුණ්ඩසාලය වෙත වැඩමකරවුයේ මේ අතරතුරදීය.මේ වනවිටත් දළදා වහන්සේ සොයා ගැනීමට දියවඩන නිලමේ අපොහොසත් වූයේය. මහානාහිමිවරුන්ට නොදන්වා දියවඩන නිලමේතුමා තම අභිමතය පරිදි මෙම කාර්යයේ නිරතව ඇතැයි කියා දැනගත් ජෝන් ඩොයිලි මහත්සේ නොසන්සුන් වූයේය. දළදා වහන්සේ මහනුවරට වැඩම කරවීමට බ්‍රිතාන්‍ය පාලනයට අත්‍යවශ්‍ය වූ බැවින් එයට උදව් කිරීමට ඇහැලේපොළ මහනිලමේ ඉදිරිපත් වූයේය. අනතුරුව උභය විහාරී භික්ෂූන් වහන්සේ පස්නමක් උඩරට ප්‍රධානීන් දෙදෙනෙක්ද ඇහැළේපොළ මහනිලමේ සමඟ මඟුල් මඬුවට රැස්වූහ. මෙම හදිසි රැස්වීමේ අරමුණ වූයේ දළදා වහන්සේට අයිති භාණ්ඩ සොයා ගැනීමයි. අපේ‍්‍රල් 23 වැනිදා මහනාහිමිවරුන් හිදගල රජමහා විහාරයට වැඩමකරවා දළදා වහන්සේ සෙංකඩගල නුවරට වැඩමකරවීමට සියලු කටයුතු සංවිධානය කෙරිණි. ඒ අනුව වර්ෂ 1815 අපේ‍්‍රල් 24 වෙනි දින දළදාවහන්සේ අටබාගේ හරහා හිදගල රජමහා විහාරයටත් එතැන් සිට අලි ඇතුන්ද උඩරට ප්‍රධානීන්ද නානාවිධ නැටුම් ගැයුම් කණ්ඩායම්වලින්ද සපිරුණ සැතපුමක් පමණ දිගින් යුතු අතිඋත්කර්ශවත් දර්ශනීය පෙරහරකින් ප.ව. 4.00 ට පමණ දළදා මාලිගාව අභියසටත් රැගෙනවිත් සුබ නැකැතට අනුව මහ කරඩුවේ තැන්පත් කළ බව කියැවේ. (දළදා ඉතිහාසය හා සංස්කෘතිය 231- 234 වෙනි පිටු)
මෙම අවස්ථාවේදී බ්‍රිතාන්‍ය ආණ්ඩුව වෙනුවෙන් මෙම පෙරහර පිළිගැනීමට ජෝන් ඩොයිලි රයිට් (Wright) නම් වූ නිලධාරියකු ද සමඟ පා ගමනින් නගරයට පිවිසෙන ස්ථානයට ගිය බවත් රොබට් බ්‍රවුන්රිග් ආණ්ඩුකාරවරයා (Sir Robert Brownrigg 1812-1820) සංගීත හඩ නංවන රෝම ඉලක්කම් සහිත බිත්ති ඔරලෝසුවක් දළදා වහන්සේට පූජාකළ බවත් කියැවේ. (ජෝන් ඩොයිලි දිනපොත 268 –269 වෙනි පිටු)
මේ අතර වර්ෂ 1816 ජුනි මාසයේ එක්තරා දිනක ඇහැලේපොළ මහ නිලමේ කොළඹ බලා පිටත්වූයේ එංගලන්තයේ මහරජුගේ ජන්මෝත්සවයට සහභාගි වන ලෙස කරන ලද විශේෂ ආරාධනාවකට අනුවය. එහිදී බ්‍රිතාන්‍ය පාලනයට මෙතෙක් සොයාගත නොහැකිවු රාජභාණ්ඩ එනම්, විශේෂයෙන් ඔටුන්න හා රන් කඩුව පිළිබඳව රොබට් බ්‍රවුන්රිග් ආණ්ඩුකාරවරයා ඔහුගෙන් දීර්ඝව කරුණු විමසා සිටියේය. මෙහිදී ඇහැලේපොළ මහ නිලමේ කියා සිටියේ ඒ පිළිබඳව ස්ථිවරම යමක් කීමට තමා කිසිවක් නොදන්නා බවත්, සමහර විට ඒවා දැනටමත් විනාශ කරදමා ඇතැයි කියා විශ්වාස කරන බවත් ය. මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වු ඔහු සමහර විට ඒවා කොහේ හෝ සුරක්ෂිතව ඇත්නම් ඉදිරි කාලයේදී තමාට ඒවා සොයාගත හැකි බවත් කියා සිටියේය.(ත්‍රි සිංහලය 260 වෙනි පිට)
යටකී රාජභාණ්ඩ දිනක් ඇහැලේපොළ වලව්වේ රහසිගතව තබාගෙන ඌවට රැගෙන ගිය ආරංචිය මිල්ලෑව දිසාව මගින් සදර්ලන්ඩ් මහතාට දැන ගැනීමට ලැබුණේ මේ අතරතුරදී ය.(ත්‍රි සිංහලය 260 වෙනි පිට)
කොළඹ ගමන නිමාකර දමා මහනුවරට පෙරළා පැමිණි ඇහැලේපොළ මහනිලමේ සිය මස්සිනා වූ ඌව දිසා ධුරය දරන ලද කැප්පෙටිපොළ මහ නිලමේ මාර්ගයෙන් එම රාජභාණ්ඩ ජොන් ඩොයිලි වෙත යැවීය. (එම 262 වෙනි පිට)
(මෙම රාජාභරණ ඇහැලේපොළ මහනිලමේගේ අවශ්‍යතාව මත අගලකුඹුරේ සට්ටම්බි විසින් ඌව හා කොත්මලේ අතර වූ ගල්ලෙනක් තුළ එතෙක් සඟවා තබනු ලබන්නට ඇතැයි විශ්වාස කෙරේ)
වෛද්‍ය ජොන් ඩේවී (Dr John Davy) මෙසේ සඳහන් කරයි.
මහා බ්‍රිතාන්‍යයේ මහරජ ඔවුනට හුදු නාම මාත්‍රයක් පමණි. සැතැපුම් දහස් ගණනක් ඈතින් සිටින රජකුගේ පාලනය පිළිබඳ හැඟීමක්ද ඔවුනට නොවීය. නියෝජිතයන් මඟින් පාලනය කිරීම පිළිබඳ හැඟීමක්ද ඔවුනට නොවීය. නිතර දෙවේලේ පෙනෙන රජකු ඔවුනට අවශ්‍ය විය. එසේම ඉදිරියෙහි වැඳ වැටී යුක්තිය වහා ඉටුකරවා ගත හැකි රජකු ඔවුනට අවශ්‍ය විය. මෙය වු කලි ස්වදේශිකයන් අපට හා අපේ රජයට විපක්ෂ වී අපව පළවා හැරීම සඳහා තැත්කිරීමට තුඩුදුන් කරුණුවලින් කිහිපයකි. (ඩේවි දුටු ලංකාව 290 වෙනි පිට)
මෙය සත්‍යයකි. බුදුසසුන ආරක්ෂා කරගනු වස් රජකු සිටිය යුතු බවත් ඒ රජු බෞද්ධ වත්පිළිවෙත් ඉෂ්ට සිද්ධ කරනු වස් සෙංකඩගල නුවර විරාජමානව වැඩහිඳීම අත්‍යවශ්‍ය බවත් සිතු උඩරට ප්‍රධානීහු, සාමාන්‍ය ජනතාව හා භික්ෂූන් වහන්සේ බ්‍රිතාන්‍ය පාලනය පෙරළා දැමීමට අනේකවිධ කුමන්ත්‍රණ කළහ. මෙහි එක් කුමන්ත්‍රණයක් පිළිබඳ හෙළිදරව්වක් එක්නැලිගොඩ නිලමේ විසින් බ්‍රිතාන්‍ය පාලනයට සැලකරන ලද්දේ වර්ෂ 1816 ජූලි මාසයේ දීය. එනම් බ්‍රිතාන්‍ය බලඇණිවලට ක්ෂණික ප්‍රහාරයක් එල්ල කොට බ්‍රිතාන්‍ය පාලකයන් සෙංකඩගල නුවරින් පන්නාදැමීමට ඉහගම රතනපාල උන්නාන්සේ , මඩුගල්ලේ උඩගබඩා නිලමේ ප්‍රමුඛ කිහිපදෙනකු කුමන්ත්‍රණය කරන බවයි.
බ්‍රිතාන්‍ය පාලකයෝ මෙයට සම්බන්ධ සියලුදෙනාම අත්අඩංගුවට ගැනීමට නොපමාව ක්‍රියා කළහ. මෙහිදී ඉහගම රතනපාල උන්නාන්සේ අත්අඩංගුවෙන් මිදී පලාගිය අතර,මඩුගල්ලේ උඩගබඩා නිලමේට විරුද්ධව කටයුතු කළ යුතු ආකාරය පිළිබඳව උඩරට ප්‍රධානින්ගෙන් අදහස් විමසීමට ජෝන් ඩොයිලි කටයුතු කළේය. මඩුගල්ලේ උඩගබඩා නිලමේ බ්‍රිතාන්‍ය පාලනයට විරුද්ධව කටයුතු කිරීම පිළිබඳ වරදකරු බවට තීරණය කළ ඔවුහු දඩුවමක් දීම ප්‍රතික්ෂේප කරමින් එම කාර්යය අණ්ඩුකාරවරයාට භාරකළහ.
ඒ අනුව බ්‍රවුන්රිග් ආණ්ඩුකාරවරයා මඩුගල්ලේ උඩගබඩා නිලමේ දැරූ සියලු තනතුරුවලින් පහකොට ඔහුගේ සියලුම චංචල නිශ්චල දේපොළ රාජසන්තක කොට දෙවසරක සිරදඬුවමකට යටත්කොට ඔහු යාපනය සිරගෙදරට යැවීමට පියවර ගත්තේය. මෙම නඩු විභාගයේදී උඩරට ප්‍රධානින් අපක්ෂපාතිව ක්‍රියාකිරීම පිළිබඳව රොබට් බ්‍රවුන්රිග් ආණ්ඩුකාරවරයා මෙසේ සඳහන් කරයි. මෙම නඩු විභාගයේදී උඩරට නිලමේවරුන් ක්‍රියා කළ අන්දම ගැන මම අතිශයින් පැහැදුනෙමි. ස්වාධීන අවංක ජූරි සභාවකින් ඉටුවන සේවය ඔවුන්ගෙන් සැලසිණි, (උඩරට මහ කැරැල්ල 11 කාණ්ඩය 6 වෙනි පිට)
මඩුගල්ලේ උඩගබඩා නිලමේ දෙවසරක සිරදඬුවමකට යටත් කළද අටමසක් පමණ කාලයක් යාපනයේ සිරගෙදර රඳවා තැබීමෙන් ඉක්බිතිව නිදහස් කිරීමට බ්‍රිතාන්‍ය පාලකයෝ තීරණය කළහ. 1817 අගෝස්තු 12 වෙනි දින ඓතිහාසික මඟුල් මඩුවේදී උඩරට ප්‍රධානින් ඇමතූ රොබට් බ්‍රවුන්රිග් ආණ්ඩුකාරවරයා මහා බ්‍රිතාන්‍යයේ ඔටුන්න හිමි කුමාරයාගේ ජන්ම දිනය එදිනට යෙදී ඇති බැවින් එම කුමාරයාගේ කාරුණික බව මූර්තිමත් කරනු වස් දැනට අච්චු ලැබ සිටින මඩුගල්ලේ උඩගබඩා නිලමේ ඉන් නිදහස් කිරීමට බ්‍රිතාන්‍ය පාලනය තීරණය කර ඇති බවත් එය ක්‍රියාත්මක කරනු වස් අවශ්‍ය නියෝග යාපනය සිරගෙදරට යවා ඇති බවත් ප්‍රකාශ කර සිටියේය.(මෙදින උඩරැටියන්ට ඉතා සුවිශේෂි දිනයක් වූයේ දළදා පෙරහරේ ආරම්භක දිනය එදිනට යෙදී තිබුණූ බැවිනි)
මේ වන විට රදල ප්‍රධානින් , සාමාන්‍ය ජනතාව පමණක් නොව භික්ෂූන් වහන්සේ බ්‍රිතාන්‍ය පාලනය ගැන මහත්සේ කලකිරීමට පත්ව සිටියහ. ඒ වග සෙංකඩගල සිට සුරියගොඩ රජමහා විහාරයට වැඩමකළ එක්තරා භික්ෂූන් වහන්සේ නමක විසින් කියන ලද මෙම ජනකවි යුගලය මැනැවින් හෙළි කරයි.
අනේ කුහුඹිය නේ
තොපටත් රජෙක් ඉන්නේ
මොකදෑ කරන්නේ
අපේ කරුමේ අපට වන්නේ
රජෙක් ලැබුනෝ තින්
එදාට කිරිබත් කන් නන්
පෙරහැර කරන් නන්
සාදු නදින් ගිගුම් දෙන් නන්
මේ අන්දමින් වූ කලකිරීම හා අසහනය ක්‍රමිකව වැඩිදියුණූ වී දෝරේ ගලත්ම නොසන්සුන්තාව උඩරට අස්සක් මුල්ලක් නෑරම පැතිර ගියේය. සෙංකඩගල නුවර කටකතා හා දූෂමාන ,ආරංචිවලින් පිරී ඉතිරී එලඹෙන නිමේෂයේදී කුමකින් කුමක් සිදුවේදැයි කියා හරිහැටි තේරුම් බේරුම් කරගැනීමට නොහැකි විය. උඩරැටියෝ තැනින් තැන එක්රොක් වී සුද්දන්ගේ ක්‍රියාකාරකම්වලට දෙස් දෙවොල් තබමින් තමාගේ දැනුම් තේරුමේ හැටියට රටේ තොටේ තත්ත්වය පිළිබඳව කතා කරන්නට වූහ. මෙන්න මෙවන් වූ දේශපාලන හැලහැප්පීම් මැදය දළදා පෙරහැර පැවැත්වූයේ.
වෛද්‍ය ජොන් ඩේවී මෙසේ සඳහන් කරයි.මේ උත්සව අවස්ථාවන්හිදී සිංහලයන් හැසිරුණු අන්දම උසස්ය.1817 දී පෙරහර ආරම්භයේ සිට අවසානය තෙක් මම මහනුවර සිටියෙමි. මේ මුළුකාලය තුළ මිනිසුන්ගේ හැසිරීම විනීත විය. ප්‍රශංසනීය විය. මිනිසුන් දහස් ගණනක් රැස්වසිටි නමුදු මේ මුළු කාලය තුළ කිසිදු කලකෝලහලයක් හෝ බීමත්කමක් හෝ දකින්නට නොලැබිණි. අතිශයින් විනීත ගතිපැවැතුම් ඇත්තවුන්ට පවා ලැජ්ජාවීමට අවස්ථාවක් නොවීය. අතිවිශිෂ්ට පුද්ගලයන්ට පවා නොකැලඹුණ හැඟීම් සහිතව ඉන්නට ඉඩ ලැබිණි. (ඩේව් දුටු ලංකාව 166 වෙනි පිට)
මෙම දළදා පෙරහර නිමාවීමත් සමඟම එනම් 1817 සැප්තැම්බර් 17 වැනිදා වෙල්ලස්සේ සුළු සිංහල නායකයෝ පිරිසක් තමන්ගේ නැතිවීගිය ස්වාධීනත්වය යළිදු දිනාගනු වස් බ්‍රිතාන්‍ය පාලනයට විරුද්ධව කැරැල්ලක් ආරම්භ කළහ. අන්න එලෙස ආරම්භ වී කන්ද උඩරට ප්‍රදේශ පුරා ව්‍යාප්ත වූ විමුක්ති සටනයි උඩරට මහ කැරැල්ල.
ශ්‍රී දළදා පුරාණය......
සම්මා සම්බුදු රජාණන් වහන්සේ අදට වසර 2600 කට පෙර සම්බුද්ධත්වයට පත්ව සතළිස් පස් වර්ෂයක් මුළුල්ලෙහි දේශනාකොට වදාළ සුවාසුදහසක් ධර්මස්ඛන්ධයෙන් ස්පර්ශය ලැබූ සම සතළිස් දළදා වහන්සේලා අතරින් දළදා වහන්සේලා සිව් නමක් ද ලලාඨ ධාතුන් වහන්සේ, අකු ධාතුන් වහන්සේලා දෙනම යන සත් නම හැර සෙසු සියලුම ධාතුන් වහන්සේලා මුං පියල් අබ පියල් ප්‍රමාණයට කැඩී සෑයෙහි ඉතිරි වූ බව මහාපරිනිබ්බාණ ආදී සූත්‍රයන්හි මැනවින් පැහැදිලි වේ.
එසේ ඉතිරි වු ධාතුන් වහන්සේලා නැලි 16ක් බව ධාතුවංශය කියයි. ප්‍රධාන ධාතුන් වහන්සේලා සත් නම අතුරෙන් අකු ධාතුන් වහන්සේ නමක් අනුරාධපුරයෙහි ඉදිකරන ලද ථූපාරාම දාගැබෙහි ද, ලලාඨධාතුන් වහන්සේ සේරුවිල දාගැබෙහි ද, තවත් අකු ධාතුන් වහන්සේ නමක් හෙවත් ග්‍රීවා ධාතුන් වහන්සේ මහියංගන දාගැබෙහි ද නිදන් කොට ඇති අතර සතර දළදා වහන්සේගෙන් එක් දළදා වහන්සේ නමක් ද්‍රෝණ බමුණු තම හිස්වැසුමෙහි සඟවාගත් මොහොතේ සක්දෙව් රජ එය රැගෙන තව්තිසා දෙව්ලොව සිළුමිණි සෑයෙහි තබා වැදුම් කරන බවත්, දකුණු දළදා වහන්සේ නාගපුරයෙහි හෙවත් නාග්පූර්හි දාගැබක (සමහර පුස්තකයන්හි නාග ලෝකයේ ජයසේන නාරජු සමීපයෙහි පුද පූජාවන්ට භාජනව) තිබී මිහිඳු මහහරහතන් වහන්සේගේ මිත්‍රත්වය නිසා ලක්දිවට ලැබි සෝමවතී දේවිය හා ගිරි අභා කුමරු විසින් මණි අගිය හෙවත් පොළොන්නරුවේ සෝමවතී දාගැබ තුළ නිදන් කොට ඇති බව ධාතුවංශය, ජිනකාලමාලි ආදි ග්‍රන්ථයන්හි සඳහන් වේ.
තවත් දළදා වහන්සේ නමක් ගන්ධාර රටේ හෙවත් වර්තමාන පකිස්ථානයේ කෞතුකාගාරයක එම රජය මගින් සුරක්ෂිතව තිබී ඇතත් නිසි පුද පූජාවන්ගෙන් තොරව වැඩ වසන බව සඳහන් වන අතර ඛේම මහ රහතන් වහන්සේ ළඟ වැඩ විසූ වාම ශ්‍රී දළදා වහ්නසේ කලිඟු රජුගේ පටන් අද දක්වාම මහ රජවරුන් ඇතුළු සකල ලෝකයාටම සියැසින් බලබලා බුද්ධාලම්බන ප්‍රීතියෙන් වැදුම් පිදුම් සත්කාර සම්මාන කිරීමට ලැබී ඇති අතර දැනට මහනුවර ශ්‍රී දළදා මාලිගාවේ අපමණ පුද පෙරහර මධ්‍යයේ වැඩ වෙසෙති.
මෙම වාම ශ්‍රී දළදා වහන්සේ කලිඟු රජු ඛේම රහතන් වහන්සේගෙන් අපමණ භක්ත්‍යාදරයෙන් පිළිගෙන රන්, රිදී, මුතු, මැණික් ආදියෙන් සමන්විතව දළදා මාලිගාවක් සාදවා එහි තැන්පත් කොට අපමණ පුද සත්කාරයන් පැවැත්වූ බව දාඨාවංශ ආදී වංශ කථාවන්හි මැනවින් පැහැදිලි වේ. ගුහසීව රජු දවස පඬි රජු මිත්‍යා මතධාරීන්ගේ බස් අසා කාලිංගය අල්ලාගෙන දළදා වහන්සේ ගිනි වළෙක දමා අළු කිරීමට ද, කිණිහිරියක තබා යකුලින් පහර දී කුඩු කිරීමට ද , මහ වළකට දමා ඒ මත පස් පුරවා අලි ඇතුන් ලවා පෑගවීමට ද, නොයෙක් අපවිත්‍ර දෑවලින් පිරුණු දිය අගලකට දැමීමට ද නියෝග කළ නමුත් ඒ කිසිවකින් පීඩාවකට පත් කළ නොහැකි වූ දළදා වහන්සේ ගේ ප්‍රාතිහාර්යයන් සියැසින් දැක විශ්මයට පත්වුයේ තම හිස මතට වඩින ලෙස අයැද සිටියේය.
සුදු බුදුරැස්වලින් හා ප්‍රාතිහාර්ය මධ්‍යයේ රජුගේ හිස මතට වැඩම වූ දළදා වහන්සේ මහත් හරසරින් පිළිගෙන මනරම් දළදා මාලිගාවක වඩා හිඳුවා පුද සත්කාර කළ බව දාඨාවංශ ආදියෙහි ද මැනවින් සඳහන්වේ.
මෙසේ නැවතත් පෙර අයුරින්ම ගුහසීව කලිඟු රජු පුදපූජා පවත්වන අතර එම රජුගෙන් පසුව රජ බවට පත් ක්‍ෂීරධාරා රජුගේ බෑණා කෙනෙකු විසින් දළදා වහන්සේ ඉල්ලා නැවත වරක් කලිගු රජු හා යුද්ධයට ගියේය. එකල්හි ගුහසීව රජතුමා තම දියණිය වූ හේමමාලා කුමරිය හා බෑණා වූ දන්ත කුමරු වෙත දළදා වහන්සේ භාර දී යුද්ධයේ දී තමා විනාශයට පත් වුවහොත් දළදා වහන්සේ ශ්‍රී ලංකාද්වීපයට ගෙන ගොස් සිංහල රජතුමාට භාර කරන ලෙස දැන්වීය.
යුද්ධයේ දී ගුහසීව රජතුමා මරණයට පත්විය. මෙම දෙපළ දළදා වහන්සේ රැගෙන බමුණු වෙස් ගෙන විවිධ දුෂ්කරතාවන්ට අතරමගදී මුහුණ දෙමින් ලක්දිවට පැමිණියහ.
රා. ව. 301 දී ශ්‍රී ලංකාද්වීපයට වැඩම වූ වාම ශ්‍රී දළදා වහන්සේ මහා විහාරිය භික්ෂූන් වහන්සේගේ ද සහ සම්බන්ධතාවයෙන් පළමුව අභයගිරියට දළදා වහන්සේ වැඩමවා කිත්සිරිමෙවන් රජතුමා අපමණ සතුටට පත්ව පළිඟු මිණෙන් නිමවන ලද කරඬුවක තබා දේවානම් පියතිස්ස රජතුමන් විසින් ඉදිකරවන ලද ධම්මචක්ක ගේහයෙහි වඩා හිඳුවා ශ්‍රී ලංකා ද්වීපයම තුන් වතාවක් දළදා වහන්සේට පූජා කොට අපමණ පුද පූජා හා විසිතුරු පෙරහර පවත්වමින් අනාගතයේ දී ද එම පුද පුජා එලෙසින්ම පැවැත්විමට නියෝග ද පැනවූ අයුරු මහාවංශ දී වංශ කථාවන්හි සඳහන්වේ.
එතැන්පටන් රජවරු දළදා වහන්සේ රාජ්‍යය හා සමානව ඒකාබද්ධව ආරක්ෂා කර ගනිමින් පැවත එන අතර අග්‍රබෝධි රජතුමා වටිනා මැණික්වලින් දළදා මන්දිරය අලංකාර කළ අතර ස්වර්ණමය ධාතු කරඬුවක දළදා වහන්සේ තැන්පත් කළ බව චූලවංශයේ සඳහන් වේ. මේ අයුරින් දළදා වහන්සේ ආරක්ෂා කරගෙන එන අතර අනුරාධපුර යුගය අවසාන කාලයේ දී සොළීන්ගේ ආධිපත්‍යය උග්‍රව පැවති නිසා සිංහල ආර්ථිකය, දේශපාලනය, මෙන්ම, සංස්කෘතියත්, සම්බුද්ධ ශාසනයත් පරිහානියට පත්වීම නොවැලැක්විය හැකි වූ අතර සොළීන් 5 වැනි මිහිඳු රජු අල්ලා ගත් අතර රුහුණේ සිංහල ජනතාව සොළීන්ට විරුද්ධව කැරලි ගසා දළදා හා පාත්‍රා ධාතුන් වහන්සේ රැගෙන රුහුණට පළා ගියහ.
රා. ව. 1070 දී විජයබාහු රජු පොළොන්නරු රාජධානිය ආරම්භ කිරීමෙන් පසු දළදා මැදුරක් ද සාදවා දළදා වහන්සේට පුදපූජා පැවැත්වූ අතර පරාක්‍රමබාහු රජතුමා ද සම්බුද්ධ ශාසනයත්, රටත් දියුණු කරමින්, දළදා වහන්සේ ද ආරක්ෂා කර ගනිමින් අපමණ සේවයක් සැලැස්වීමෙන් පසු නිශ්ශංකමල්ලතිස්ස රජතුමාගේ කාලයේ දී කාලිංග මාඝ ආක්‍රමණ නිසා සම්බුද්ධ ශාසනය පමණක් නොව සිංහල රාජ්‍යයත්, සිංහල ජාතියත් සම්පූර්ණයෙන්ම විනාශ කිරීමට කටයුතු කළ මොහොතේ භික්ෂූන් වහන්සේ වාම ශ්‍රී දළදා වහන්සේ සඟවාගෙන කොත්මලේ ප්‍රදේශයට ගොස් සපු ගහක බෙනයක් තුළ දළදා වහන්සේ සඟවා බුරුම රටට පැන ගියහ. තව සමහරෙක් ඉන්දියාවේ පාණ්ඩ හා චෝල ප්‍රදේශවලට පැනගිය අතර රා. ව. 1232 දී 3 වන විජයබාහු රජතුමා දඹදෙණිය රාජධානිය කරගෙන පලා ගිය භික්ෂූන් වහන්සේ හා ජනතාව දඹදෙණියට ගෙන්වා ගෙන දළදා වහන්සේ ද බෙලිගල දළදා ගෘහයට වැඩමවීය. අනුරාධපුර, පොළොන්නරු රාජධානිවල සිටි සියලුම සිංහලයන් දකුණට, දඹදෙණියට පැනගිය අතර මරණයට පත් නොවී ඉතිරි වූ පිරිස සොළින් බවට පත්විය.
දෙවන පරාක්‍රමබාහු රජතුමා බෙලිගලින් දළදා වහන්සේ දඹදෙණියට වැඩම වූ අතර නැවතත් විජයබාහු රජතුමා දළදා වහන්සේ පොළොන්නරුවට ගෙන ගිය නමුත් 1 වන බුවනෙකබාහු රජතුමා යාපහුවට දළදා වහන්සේ වැඩමවුහ. එකල පඬිරට ආර්යචක්‍රවර්ති රජතුමා යාපහුව අල්ලා ගත් අතර දළදා හා පාත්‍රා ධාතුන් වහන්සේ පොළොන්නරුවට ගෙනයන ලදී. 4 වන පරාක්‍රමබාහු රජතුමා කුරුණෑගල රාජධානිය කරගෙන දළදා වහන්සේ කුරුණෑගලට වැඩම වූ නමුත් 5 වන පරාක්‍රමබාහු රජතුමා ගම්පොළ රාජධානිය කරගෙන දළදා වහන්සේ ගම්පොළ නියම්ගම්පාය විහාරස්ථානයට වැඩම වූ අතර විවිධ ගැටුම් මෙන්ම දේශීය විදේශීය බලපෑම් නිසා දළදා වහන්සේ විර අලකේශ්වර රජතුමා විසින් කෝට්ටේ රාජධානියට වැඩමවන ලදී.
කෝට්ටේ 7 වන බුවනෙකබාහු රජතුමා ලක්දිව ආරක්ෂාව පරංගීන්ට භාරදෙන අතර දී දෙවනගල රතනාලංකාර හිමි හා හිරිපිටියේ රාළ නිළමේ විසින් දළදාවහන්සේ සීතාවකට ගෙන ගොස් මායාදුන්නේ රජුට භාරකළ අතර එතැන් පටන් 1 රාජසිංහ රාජ්‍ය කාලය අවසන් වී 1 විමලධර්මසූරිය රාජ්‍ය කාලය දක්වාම දළදා වහන්සේ දෙල්ගමුව රජ මහ විහාරයෙහි සුරක්ෂිතව කුරහන්ගල යට තබා ආරක්ෂා කරගත් අතර 1 විමලධර්මසූරිය රජතුමා අභිනවයෙන් දළදා මැදුරක් සාදවා දළදා වහන්සේ මහනුවරට වැඩමවිය.
එම මාලිගය පෘතුගීසීන් විනාශ කළ ද 2 වන රාජසිංහ රජු එම දළදා මාලිගාව දෙමහල් කොට සාදවන ලද නමුත් ලන්දේසිීන්ද මෙම දළදා මාලිගාව විනාශ කරන ලදී. 2 වන විමල ධර්මසූරිය රජතුමා තෙමහල්කොට එම මාලිගාව ඉදිකොට දළදා වහන්සේ නැවතත් සුරක්ෂිතව තබා පූජා පැවැත්වූ අතර ශ්‍රී වීරපරාක්‍රම නරේන්ද්‍රසිංහ රජතුමා ද එම මාලිගාව නැවතත් දෙමහල් කොට ඉදිකරවීමෙන් පසු අද දක්වාම එම දෙමහල් මාලිගාවේම දළදා වහන්සේ වැඩ වසති.
මේ අයුරින් වාම ශ්‍රී දළදා වහන්සේ භාරතයේ කලිඟු රට දන්තපුරයේ හා පඬිරට පැළලුප් නුවර වසර 800 කට අධික කාලයක් වැඩ විසීමෙන් පසු රා. ව. 301 දී කිත්සිරි මෙවන් රාජ්‍ය සමයේ දී අනුරාධපුරයට වැඩමවා එතැන් පටන් අනුරාධපුරය, පොළොන්නරුව, රුහුණේ, මායා රට, කොත්මලේ, දඹදෙණිය, යාපහුව, කුරුණෑගල, ගම්පොල, කෝට්ටේ, සිතාවක, මහනුවර සෙංකඩගල, දුම්බර, මැදමහනුවර, කුණ්ඩසාලේ, හඟුරන්කෙත, හිඳගල, දඹුළු කැලේ ආදි මෙකී ප්‍රදේශයන්හි 80 කට අධික ස්ථානයන්හි දළදා වහන්සේ තබා ආරක්ෂා කරගත් අයුරු ඓතිහාසික පුරාවිද්‍යාත්මක හා ගැමි වහරෙහි ද ඇතුළත්වේ.
මහා සංඝරත්නයත්, අපේ සිංහල රජවරුත්, සැදැහැවත් ජනතාවත් ජීවිත පරිත්‍යාගයෙන් ආරක්ෂා කරගත් දළදා වහන්සේ 1815 මාර්තු 02 දින ඉංග්‍රීසින්ට අයත් විය. නමුත් මල්වතු අස්ගිරි උභය මහා විහාරයේ මහානායක මාහිමිවරුන් ප්‍රධාන මහා සංඝරත්නය හා කපුවත්තේ දියවඩන නිළමතුමා දළදා වහන්සේ කොත්මලේ පුසුල්පිටිය විහාරයේ සඟවාගත් බව දළදා වංශයෙහි සඳහන් වේ. රා . ව . 1815 මාර්තු 27 වන දින ජෝන් ඩොයිලි හා ආණ්ඩුකාර බ්‍රවුන්රිග් ඇතුළු බ්‍රිතාන්‍ය පාලකයන් සමඟ අධිකාරම් වරුන් විසින් කළ සාකච්ඡාව අනුව දළදා වහන්සේගේ ආරක්ෂාව සැලසීමට පොරොන්දු වී භික්ෂූන් වහන්සේ විසින් සඟවාගෙන තිබූ එම දළදා වහන්සේ නැවතත් හිඳගල සිට මහනුවරට වැඩමවූහ.
මෙතැන් පටන් 1815 සිට 1847 දක්වා කාලය තුළ ඉංග්‍රීසින්ගේ භාරයට පත්ව තිබූ දළදා වහන්සේ යළිත් 1853 අප්‍රේල් 07 දින අංක 152 දරණ රාජාඥා පත්‍රයෙන් මල්වතු අස්ගිරි උභය මහා විහාරයේ අතිගෞරවාහ¡ මහානායක මාහිමියන් වහන්සේ දෙනමට හා දියවඩන නිලමේට ඉංග්‍රීසීන් විසින් දළදා වහන්සේ භාර කරන ලදී. ඒ අනුව අද දක්වාම දළදා වහන්සේගේ පූර්ණ භාරකාරත්වය මල්වතු අස්ගිරි උභය මහා විහාරයේ මහානායක මාහිමියන් වහන්සේලා දෙනම හා දියවඩන නිලමේතුමා විසින් දරන අතර මහනුවර ශ්‍රී දළදා මාලිගාවේ විහාරාධිපති ධුරය එකී මහානායක මාහිමියන් වහන්සේලා දෙනමම දරන අතර භාරකාරත්වය දියවඩන නිලමේ දරති.
වර්තමානයේ මෙම වාම ශ්‍රී දළදා වහන්සේගේ භාරකාරත්වය හා ශ්‍රී දළදා මාලිගාවේ විහාරාධිපති ධූරය අතිගෞරවාහ¡ තිබ්බටුවාවේ ශ්‍රී සිද්ධාර්ථ සුමංගලාභිධාන මහාවිහාර වංශික ස්‍යාමෝපාලි මහා නිකායේ මල්වතු පාර්ශ්වයේ මහානායක මාහිමියන් වහන්සේ හා අතිගෞරවාර්හ උඩුගම ශ්‍රී සද්ධර්මකීර්ති ශ්‍රී ධම්මදස්සි රතනපාල බුද්ධරක්ඛිතාභිධාන අස්ගිරි පාර්ශ්වයේ මහානායක මාහිමියන් වහන්සේ දරන අතර දළදා වහන්සේගේ ගිහි භාරකාරත්වය ප්‍රදීප් නිලංග දෑල දියවඩන නිලමෙතුමා විසින් දරමින් අසීමිත බුද්ධාලම්භන ප්‍රීතිය උපදවන අයුරින් දළදා වහන්සේට තුන්වේලේ රාජකීය මහා මුළුතැන් පූජා සහිත තේවාවන් හා දළදා පෙරහර ආදී මහා පුුද පෙළහර පවත්වමින් සකල ජනතාවට දළදා වහන්සේගේ ආශිර්වාදය ලබාදීමට කටයුතු සලසති.
.......... විදේශිකයන් දුටු මහනුවර ඇසළ සිරි ...............
ආගම හා සංස්කෘතිය දේශයක අභ්‍යන්තර හැඩගැස්ම විදහාපාන කැඩපතක් බඳුය. සිරිත් විරිත් සමුදායක් මත ගොඩනැඟෙන සංස්කෘතිය සමාජයක ඉදිරි ගමනේ මාර්ගෝපදේශකය වේ. ක්‍රි.පූ. තෙවැනි සියවසින් පසු ශ්‍රී ලංකාද්වීපය තුළ බුදුසසුන පිහිටුවීමෙන් පසු බෞද්ධ සංස්කෘතියට අනුගතවන ප්‍රජාවට සිය චර්යා රටාවන් වර්ධනය කරගනු පිණිස මෙන්ම පූජෝපහාර පැවැත්වීම සඳහා ද බෞද්ධ පූජ්‍ය වස්තුන් බෞද්ධ සංස්කෘතිය හා ඒකාබද්ධ වීමක් දැකිය හැකිය.
මහාබෝධිය හා ශ්‍රී දළදා වහන්සේ එවැනි පූජ්‍ය වස්තුන් අතුරින් සුවිශේෂත්වයට පත්විය. අනුරාධපුර සමයේ දී මහාබෝධියට මෙන්ම ශ්‍රී දළදා වහන්සේට ද එක හා සමාන තත්ත්වයක් හිමි වුවද පොළොන්නරු යුගයෙන් පසු දළදා වහන්සේ රාජ්‍යත්වයේ උරුමයේ සංකේතයක් වීමත් පාලන කේන්ද්‍රස්ථාන වෙත වැඩම කරවීමට පහසුවීමත් නිසා දළදා වහන්සේ කෙරෙහි දක්වන ලද පූජ්‍යත්වය වඩාත් ඉස්මතුවීමක් දැක ගත හැකිය. එමෙන්ම ඒ සම්බන්ධිතව පවත්වනු ලැබූ පුද පූජාවන්හි කාලීන වෙනස් වීමක් ඇතිවිය. ශ්‍රී දළදා වහන්සේ වැඩම කළ තැන් පටන් වත්මන දක්වා මෙසේ දළදා වහන්සේ වෙනුවෙන් පවත්වනු ලැබූ පූජාවන් අතර පෙරහර මංගල්‍යය ඉතා වැදගත්වන අතර දේශයේ මෙන්ම ජාතියේ අනන්‍යතාව මනාව ඉස්මතු කළ මංගල්‍යයක් ලෙසින් එය පැවැත්වීමට අතීතයේ සිට ක්‍රියා කළ බව දැකගත හැකිය.දේශීය සාහිත්‍ය මූලාශ්‍රවලින් මෙන්ම විදේශීය මූලාශ්‍රවලින් මේ බව ඉතා පැහැදිලිවේ. එනිසා විදේශීය මූලාශ්‍ර කිහිපයක් ඇසුරෙන් දළදාව හා මහනුවර ඇසළ පෙරහරේ අතීත තොරතුරු මතු කොට පෙන්වාදීමට මෙම ලිපියෙන් උත්සාහ කෙරේ.
මෙරටට මුල් කාලයේ සිට පැමිණි විදේශීය පිරිස් අතරින් ඇතැම්හු තමා අසා දැනගත් තොරතුරු මෙන්ම අත්විඳී අත්දැකීම් ලේඛනගත කිරීමටද අමතක නොකළහ. සමකාලීන ඉතිහාසය ගැන අධ්‍යයනයේ දී මෙලෙසින් තැබූ වාර්තා අගනා ඓතිහාසික මූලාශ්‍ර බවට පත්ව ඇත. අනුරාධපුර යුගයේ ලක්දිවට පැමිණි ෆාහියන් භික්ෂූන් වහන්සේගේ වාර්තාවලට මෙන්ම කන්ද උඩරට පිළිබඳ අධ්‍යයනයේ දී රොබට් නොක්ස් සහ ජෝන් ඩේවිගේ වාර්තාවලටද හිමිවනුයේ සුවිශේෂි තැනකි. තමා අත්විඳි දෑ සියැසින් දැක එලෙසින්ම වාර්තා කිරීම මෙම ලේඛකයන්ගේ සුවිශේෂත්වය වේ. ඒ නිසා එම වාර්තා ශ්‍රී ලාංකේය ඉතිහාසය අධ්‍යයනයේ දී වැඩි වැදගත්කමක් හිමි කරගෙන ඇත. තමන් නොදත් ඇතැම් කරුණු පරිවර්තකයන් ලවා තේරුම් කරවාගෙන එහි ගැබ්ව ඇති අරුත මනාව වටහා ගෙන රචනයට පිවිසීම මෙන්ම භාෂාව හා සංස්කෘතිය ගැන යම් අවබෝධයකින් වාර්තාකරණයට පිවිසීම නිසාද සමකාලීන ඉතිහාසය ලිවීමේදී බොහෝ ඉතිහාසඥයන්ට මේ වාර්තාවලින් ලැබෙන සහාය අපමණය. එමෙන්ම එක් පාර්ශ්වයකට සීමා නොවී සමාජයේ සෑම පැතිකඩක්ම තමා දුටු අයුරින්ම ඉදිරිපත් කිරීමට මෙම ලේඛකයන් බෙහෙවින් උනන්දුවීම නිසා සත්‍ය පුවත් මෙම වාර්තාවල අන්තර්ගතව ඇති බව පැහැදිලිය.
ෆාහියන් හිමිගේ වාර්තාව හා දළදා පෙරහර.........
දළදා වහන්සේ ශ්‍රී ලංකාවට වැඩම කළ මුල් අවධියේ පැවැති දළදා ප්‍රදර්ශනය හා පෙරහර ගැන දේශීය මූලාශ්‍රවලට වඩා වැඩි තොරතුරක් ලැබෙනුයේ චීන දේශ සංචාරක භික්ෂුවක් වූ ෆාහියන් (Fa –Hsien) භික්ෂුව විසින් රචිත ඒ A Record of Buddhist Kingdoms or the travels of Fa-hsienවාර්තාව ඇසුරෙනි. උන්වහන්සේගේ සඳහනට අනුව සිරිත් පරිදි දන්ත ධාතුන් වහන්සේ වසරේ තෙවැනි මස මැද දී ප්‍රදර්ශනය කරනු ලැබේ. ඊට දින දහයකට කලින් හස්තියකු හස්ත්‍යාභරණයෙන් සරසවා, රාජකීය සළු පිළියෙන් සරසවන ලද පුද්ගලයකු හස්තියා මත නංවා දළදා ප්‍රදර්ශනය ගැන ජනතාව දැනුම්වත් කරන බව උන්වහන්සේ දක්වති. එමෙන්ම දළදා ප්‍රදර්ශනයෙන් අනතුරුව දන්තධාතුන් වහන්සේ මන්දිරයෙන් පිටතට ගෙන ප්‍රධාන මාර්ගය දිගේ වැඩම කරවන බවත් එම මාර්ගයේ දෙපස බුදුරදුන්ගේ අතීත කතාපුවත් රැගත් ජාතක සිතුවම් පන්සියයක් පමණ ප්‍රදර්ශනය කරනු ලබන බවත් සඳහන්ය. එතැන් සිට අභයගිරි විහාරය දක්වා වැඩමවනු ලබන දළදා වහන්සේට මගදෙපස දී මහත් පූජාවන් ජනතාව විසින් පවත්වනු ලබන බව ද ෆාහියන් හිමියෝ දක්වති. මෙම විස්තරයට අනුව රජු මේ සඳහා සිය නායකත්වය දුන් අතරම “ පින් කැමැති සියල්ලෝම මං හා සම කෙරෙත්වා” යනුවෙන් රජු විසින් කරනු ලබන ප්‍රකාශය ද නිසා රට වැසි සියල්ලන්ම කිසිදු භේදයකින් තොරව ආගමික කාර්යයක්ය යන අදහසින් එක්තැන්ව කටයුතු කළ යුතුය යන ආදර්ශයක් ඒ මගින් ලබා දෙයි. ඒ අනුව මහාමංගල්‍යයක් ලෙසින් රට වැසි ගිහි පැවිදි සැම මෙම සද්්කාර්යයට එක්විය යුතුය යන අදහස පාලකයා ලබාදීමට උත්සාහ කළ බව පෙනේ.ජනතාව ද එපරිද්දෙන්ම ඊට අවනතව දළදා පූජාවන්ට සාමූහිකත්වයෙන් යුතුව සම්බන්ධ වූ බවක් පෙන්නුම් කෙරේ.
දහසය වැනි සියවසෙන් පසු ශ්‍රී ලංකාද්වීපයේ වෙරළබඩ ප්‍රදේශ ක්‍රමයෙන් අපරදිග ජාතීන්ගේ පාලනයට යටත් වීමෙන් පසු පෘතුගීසින් , ලන්දේසීන් මෙන්ම ඉංගී‍්‍රසි ජාතිකයන්ද මෙරට පාලනය කළ අතර 1815 උඩරට ගිවිසුමත් සමඟ ශ්‍රී ලංකාවේම පාලන බලය ඉංගී‍්‍රසිනට අත්පත් කරගත හැකි විය.මෙලෙසින් විදේශීය පාලනයක් පැවැති වකවානුව තුළ මහනුවර ඇසළ උත්සවය හා දළදා පෙරහර ගැන වැඩිමනත් විස්තර ලබාගත හැකිවනුයේ විදේශීය වාර්තා ඇසුරෙනි. ඒ අතරින් රොබට් නොක්ස් (Robert Knox) විසින් ලියනු ලැබූ An Historical Relation of The isand Ceylon කෘතියත් ජෝන් ඩේවි (John Devy) විසින් ලියන ලද An Account of interior of Ceylon and its Their inhabitants with Travels in that Island වාර්තාවත් මෙහිදී ඉතා වැදගත්ය.
දෙවැනි රාජසිංහ රජු දවස සිරකරුවකු ලෙසින් කන්ද උඩරට විසූ නොක්ස් තමා ඇසූ දුටු සිංහල සමාජයේ විවිධ පැතිකඩ රැසක් ගැන සිය වාර්තාවේ දක්වා තිබේ. ඒ අතර ඔහු මහනුවර පවත්වනු ලැබූ ඇසළ පෙරහැර ගැන දක්වනු ලබන තොරතුරු ඉතා වැදගත්ය. ශ්‍රී දළදා වහන්සේ මුල්කොට එවකට පෙරහරක් මහනුවර පැවැති බව මෙම වාර්තාවෙන් නොදැක්වේ. නමුත් අනෙකුත් දේවාල හා දෙවියන් වෙනුවෙන් අඛණ්ඩව ඇසළ පෙරහර උත්කර්ෂවත් අයුරින් මහනුවරදී පවත්වනු ලැබු බව නොක්ස් කියයි. ඔහු මෙසේ ඒ පෙරහරේ ආරම්භය විස්තර කරයි. දෙවියන් වෙනුවෙන් පැවැත්වෙන විශිෂ්ටතම උත්සවය කන්දේ නුවර පැවැත්වෙන බවත් මීට මහනුවර ඇසළ පෙරහර යැයි කියන බවත් නොක්ස් සඳහන් කරයි.
රොබට් නොක්ස් දක්වන ඇසළ පෙරහර......
මෙම පෙරහර සමයේ විශේෂයෙන් පිරිසුදු කරනු ලබන නගරයේ වීථී දෙපස සුළගින් ලෙළ දෙන ධජ පතාකාදිය යුක්ත බවත් රාත්‍රි කාලයේ වීථී ආලෝකයෙන් බබළන බවත් සඳහන්ය. මහමඟ ඉදිකළ නන්වන් සිරියෙන් යුත් තොරන් මල්කමින් ලියකමින් මොනවට සරසන ලද බවත් පවසන නොක්ස් පෙරහර සමයේ මහනුවර පරිසරය සූදානම් කරන අයුරු විස්තර කරයි.
පෙරහර පැවැති දිනවල පළමුවෙන් දේවාලයේ කපුරාළ අඩක් වැසීයන පරිද්දෙන් පට පිළියෙන් ඔතා මල්මාලාවලින් අලංකාර ලෙස සරසන ලද ලීයක් ගෙන පෙරහරේ ගමන් කරයි. ජනතාව ඊට වැඳ නමස්කාර කොට පූජා පවත්වනු ලබන බවත් පසුව කපුරාල මුඛවාඩමක් බැඳ දඬු කඩ කර ලා ගෙන, තමා දෙපස අලංකාර ලෙස සරසන ලද අලි ඇතුන් ගමන් කරද්දී, ස්වේත වර්ණයෙන් චමත්කාර ලෙස සරසන ලද හස්තියෙකු පිට නැගී, මහත් උත්සවශ්‍රීයෙන් යුතුව නගරයේ වීථි සංචාරය කරන බව නොක්ස් දක්වයි...
| Fri May 24 @ 8:00PM - MAY - Friday 24th, 8.00pm Dhamma Sermon |
| Sat May 25 @ 1:00PM - MAY - Saturday 25th, from 1.00pm Buddhist Event |
| Sat May 25 @ 4:00PM - MAY - Saturday 25th, 4.00pm Sinhala Movie @ Epping |
| Sat May 25 @ 6:00PM - MAY - Saturday 25th, 6.00pm Drama |
| Sat May 25 @ 6:00PM - MAY - Saturday 25th, 6.00pm to 9.30pm Buddhist event @ Mulgrave |
| Sat May 25 @ 6:00PM - MAY - Saturday 25th, 6.00pm Drama |
| Sat May 25 @ 7:00PM - MAY - Saturday 25th, 7.00pm to Midnight Dinner Dance |
| Sun May 26 @ 9:00AM - 02:00PM MAY - Sunday 26th, 9.00am to 2.00pm Meeting & Lunch |
| Sun May 26 @12:00PM - 03:30PM MAY - Sunday 26th, 12.00pm to 3.30pm Lunch |
| Sun May 26 @ 7:00PM - MAY - Sunday 26th, 7.00pm Wesak |